Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් වේවි

ක්‍රිකට් ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් වේවි

editorial - 2020 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම – දමින්ද විජේසූරිය)

විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිගමනය අනුව, කොරෝනා වයිරසයේ සෘජු බලපෑම ඇතිවූවේ මිනිසාගේ ස්වසන පද්ධතියට සහ පසුව ඔවුන්ගේ ජීවිතයටය. ඒ ගැන විවාදයක් නැත. එහෙත් ඇත්ත ඇති සැටියේ ගෙන බැලුවහොත් කොරෝනා වයිරසය විසින් මුළු මහත් ලෝකයේම ආර්ථිකය කා දමා විනාශ කර තිබෙන අතර විනෝදාස්වාද ව්‍යාපාරය හෙවත් මිනිසුන් පිනවීමේ ව්‍යාපාරයට සම්බන්ධ වී සිටියවුන්ගේ සියලු බලාපොරොත්තු සුන්නත්දූලි කරදමා තිබේ.

වෘත්තීමය ක්‍රීඩාවේ ඉහළින්ම පවතින ක්‍රිකට්, පාපන්දු, රග්බි, මලල ක්‍රීඩා, ගොල්ෆ්, ෆෝමියුලා 1 සහ ගෝන් ප්‍රී මෝටර් රථ තරගද ඇතුළුව මෙකී නොකී සියලුම වෘත්තීය ක්‍රීඩාවල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙන්ම ඒ ඒ ක්‍රීඩාවන්ට සම්බන්ධ වූ පුහුණුකරුවාගේ සිට ක්‍රීඩා පිටිය සකස් කරන්නා දක්වා හෙට දවසේ කුමක් සිදුවේද යන්න සිතාගත නොහැකිව, විපිළිසරව, සිටිති

ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩාවේ මෙතෙක් බිහිවූ පිතිකරුවන් අතර ශ්‍රීමත් ඩොනල්ඞ් බ්‍රැඞ්මන්ට පමණක් දෙවැනි වන්නා සේ සැලකෙන, ඉන්දීය පිලේ හිටපු නායක සචින් තෙන්ඩුල්කාර් පවසන පරිදි කොරෝනා වයිරසයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවත් අති දැවැන්ත පරිවර්තනයකට බඳුන් වෙයි. තෙන්ඩුල්කාර් කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාව “පන්දුව ඔපදැමීමේ සිට සතුට සැමරීම දක්වා” ක්‍රිකට් ලෝකයම වෙනස් වන බවයි.

තෙන්ඩුල්කාර්ගේ මෙම ප්‍රකාශයත් සමගින් සිය අවධානය වෙනතක යොමුකිරීමට සූදානම් වන අන්තර්ජාතික ක්‍රිකට් සභාව, ඛේඨය අතුරා පන්දුව ඔප දැමීම වෙනුවට පන්දුව පළුදු කිරීම නිතිගත කිරීම සම්බන්ධයෙන්ද සිතා බලමින් සිටින බව ලන්ඩන් නුවරින් වාර්තා වෙයි.
පන්දුව ඔප දැමීමේ සාම්ප්‍රදායික ක්‍රමය වන්නේ පන්දුවේ මැස්මෙන් එක පැත්තක ඛේඨය තවරා පන්දුව කලිසමේ ඇතිල්ලීමෙන් පන්දුවේ එක පැත්තක් සුළං පහර කපාගෙන වඩාත් වේගයෙන් ඇදීයාමට සැලැස්වීමයි. වේග පන්දු යවන්නෝ එමගින් පන්දුවේ දෝලනය පාලනය කළහ. 
 
එහෙත් සමාජ දුරස්ථකරණය මෙන්ම පෞද්ගලිකත්වය ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් ලෝක පුරාම කතාබහ ඇතිවී තිබෙන යුගයක, ක්‍රීඩකයන් 11 දෙනකු අතර පමණක් නොව, තවත් බොහෝ දෙනකු අත හුවමාරු වන පන්දුවක ඛේඨය තැවරීමට අනුබල දිය හැකි තත්ත්වයක් නැත. එවන් තත්ත්වයකදී ක්‍රීඩාවේ සම්ප්‍රදායික උපායයන් වඩාත් වෙනස් ඉසව්වක් කරා ගමන් කළ යුතුව තිබේ.

“මා හිතන්නේ පන්දුව ඔප දැමීම වෙනස් වෙයි...” යයි පසුගිය සිකුරාදා සිය 47 වැනි උපන් දිනය සැමරූ තෙන්ඩුල්කාර් රොයිටර් පුවත් සේවයට පැවසීය.

“හැමෝගේම අවධානය යොමු වෙලා තියෙන්නේ සමාජ දුරස්ථකරණය ගැනයි.... ඒ වගේ තත්ත්වයක් තියෙද්දී කඩුල්ලක් දවාගත්තාම ක්‍රීඩකයන් එකිනෙකා උඩ පැනලා අල්ලට අල්ල ගසාගනිමින් සතුට බෙදාගැනීම, නැත්නම් ක්‍රීඩකයන් බදා වැළඳගෙන සතුට බෙදාගැනීම වගේ දේවල් ඉදිරියට යාවිද..?

“මම හිතන්නේ නෑ මේ දේවල් තවදුරටත් ඒ විදිහටම සිද්ධ වේවි කියලා... ඒක හදිසියේම..ඉඳ හිටලා.... ඒ කියන්නේ පුරුද්දට වගේ වෙන්න පුළුවන්. ඒත් මා හිතන්නේ නියමිත ආරක්‍ෂණ උපදෙස් පිළිපදින්න ක්‍රීඩකයන් නිරන්තරයෙන් උත්සාහ කරාවි.. මේ වෙලාවේ වැඩිදෙනාගේ තෝරාගැනීම පෞද්ගලිකත්වයයි” යයිද තෙන්ඩුල්කාර් රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

සචින් තෙන්ඩුල්කාර්ගේ 47 වැනි උපන් දිනයේදී, තොරතුරු විමසීම සඳහා සචින් තෙන්ඩුල්කාර් ඇමතූ අවස්ථාවේදී ඉන්දීය පිලේ හිටපු නායකයා රොයිටර් පුවත් සේවයට එසේ පවසා තිබිණ.
ඉරිදා (26 වැනිදා) වන විට කොරෝනා වයිරසය ආසාදනය වූ පිරිස ලක්ෂ 27 කට ආසන්න වී තිබූ අතර ඔවුන් අතුරින් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් මියගොස් සිටියහ. වයිරසයෙන් ගැලවීමේ එකම මාර්ගය ලෙසින් වෛද්‍ය විශේෂඥයන්ගේ නිර්දේශය වන්නේ හුදෙකළා වීමයි.

ශ්‍රී ලංකාව තුළ වයිරසයේ පැතිරීම ආරම්භ වීමත් සමගින් ඒ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ සිටි එංගලන්ත කණ්ඩායම තරගාවලිය අතහැර දමා එංගලන්තය බලා පිටත්ව ගියේය. පසුව ඕස්ටේ්‍රලියාව සහ දකුණු අප්‍රිකාවත් තම තමන්ගේ විදේශීය සංචාර කල්දමන ලද අතර දකුණු අප්‍රිකානු පිලේ ශ්‍රී ලංකා සංචාරයට ඒ අතරට එක්විය.

ලෝකයේ වැඩිම ආදායමක් සහිත කණ්ඩායම් හිමිකරුවන්ගේ තරගාවලිය වන අයි.පී.එල්. තරගාවලියද දින නියමක් නැතිව කල්දමා තිබෙන අතර ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලි කිහිපයක්ද කල්දැමීමට සිදුවී තිබේ. ඒ අනුව ලබන වසරේ ජූනි මාසයේදී ලන්ඩන් නුවර ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය සම්බන්ධයෙන්ද ඇත්තේ අවිනිශ්චිතතාවකි.

කොවිඞ්-19 තර්ජනයට ලක්ව තිබෙන මීළඟ විශාලතම ක්‍රිකට් තරගාවලිය වන්නේ ලබන ඔක්තෝබරයේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියයි. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් දැන්ම තීරණයක් නොගන්නා නමුත් එය ඔක්තෝබරයේදී පැවැත්වීම සම්බන්ධයෙන් වැඩි දෙනකුට විශ්වාසයක් නැත.

කෙසේ වෙතත් මේ තත්ත්වය සම්බන්ධයන් සචින් තෙන්ඩුල්කාර්ට කිසියම් අදහසක් තිබේ.
“සමස්ත ලෝකයම එක තැන නැවතිලා... ක්‍රිකට් ගහන සෑම රටකටමත් මේ තත්ත්වය පොදුයි. ඒ හින්දා මම නම් හිතන්නේ එක එක තරගාවලි... ඒ කියන්නේ ද්විපාර්ශ්වික තරගාවලි (දෙපාර්ශ්වයේ කැමැත්ත ඇතිව) තැනින් තැනට කල්දානවාට වඩා සම්පූර්ණ ක්‍රිකට් දින දර්ශනයම ටික දවසකින් ඉදිරියට ගෙන ගියා නම් මේ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන්”
“එක එක රටවලත් මහාද්වීප වලත් ක්‍රිකට් තරග පැවැත්වෙන කාල වකවානු වෙනස් බව මා දන්නවා. ඒ ගැනත් ටිකක් සැලකිල්ලෙන් බලන්න ඕනා” යයිද තෙන්ඩුල්කාර් පැවසීය.

“විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය දිහා බලන්න... ඒක ඕස්ටේ්‍රලියාවේ පමණක් ප්‍රශ්නයක් නෙමේ. අනෙක් රටවල ක්‍රීඩකයන්ටත් ආරක්‍ෂාව ඇතිව, කරදරයකින් තොරව, එහාට යන්න පුළුවන් වෙන්න ඕනා” යයිද තෙන්ඩුල්කාර් කියයි.

වයස 16 දී ටෙස්ට් පිටියට පිවිසි තෙන්ඩුල්කාර් අන්තර්ජාතික ලකුණු 34,357 කට හිමිකම් කියන අතර ලබාගත් ටෙස්ට් සහ එක්දින ශතක එකතුව 100 කි. ටෙස්ට් ශතක 51 ක් සහ එක්දින ශතක 49 ක් ඊට ඇතුළත් වෙයි. සචින් තෙන්ඩුල්කාර් සහභාගි වූ එකම විස්සයි-20 තරගයේදී ලබාගත්තේ ලකුණු 10 ක් පමණි.

“සෑම වෙලාවේදීම ප්‍රශ්න වලින් මාව ආරක්‍ෂා කරපු, මගේ ප්‍රශ්න ඔවුන්ගේ ප්‍රශ්න කරගත්තු පිරිසක් මා වටා හිටියා. ඒ නිසා මට පුළුවන් වුණා හැම වෙලාවකදීම ක්‍රිකට් ගැනම අවධානය යොමු කරන්න. මගේ පැත්තෙන් බලද්දී මට ඒකෙන් වාසියක් වුණත් හැමෝටම එහෙම නෑ.... ”
“ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් තම තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න තියෙන්න පුළුවන්.. මේ වගේ වෙලාවක ඒ ගොල්ලන් ඉන්නේ ඉතාම දැඩි මානසික පීඩනයකින්... හැමෝගෙම ජීවිතවල නැඟීම් වගේම වැටීම් තියෙනවා. කව්රුහරි තමන්ගේ සාර්ථකත්වයෙන් අන්ධ වෙලා ඒක ගැනම හිත හිතා ඉන්නවා නම් ඒක දිගටම පවතින්නේ නෑ.....”

“සාර්ථකත්වය සැමරීමේත් බලාපොරොත්තු බිඳ වැටීමේත් කිසියම් සමබරතාවක් තියෙන්න ඕනා” යයිද තෙන්ඩුල්කාර් කියයි. තෙන්ඩුල්කාර්ගේ මෙම වදන් පෙළ හුදෙක් ක්‍රිකට් ක්‍රීඩකයන්ට පමණක් නොව, සෙසු සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත්, ලෝකය පුරා වෙසෙන ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්ට මෙන්ම ලෝකය වෙනස් කළ ව්‍යවසායකයන්ට වුවත් පොදුය.

ලොව කීර්තිමත් ව්‍යවසායකයකු මෙන්ම ගුවන් සමාගම් දෙකක හිමිකාරුවා වන ශ්‍රීමත් රිචඞ් බ්‍රැන්සන් ඊයේ කියා සිටියේ කෝවිඞ් වයිරසය නිසා කඩා වැටී තිබෙන ‘වර්ජින් ඕස්ටේ්‍රලියා’ ගුවන් සේවය නැවත නඟා සිටුවීම සඳහා තමන් පවුම් මිලියන 500 ක (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් බිලියන 110 ක්) වාණිජ ණයක් ඉල්ලා සිටින බවයි. ඒ වෙනුවෙන් බටහිර ඉන්දීය දූපත් සමූහයට අයත් දූපතක පිහිටි තමන්ගේ නිවාඩු නිකේතනය හිලව්වට තබාගන්නා ලෙසද ශ්‍රීමත් රිචඞ් බ්‍රැන්සන් මහතා එංගලන්ත රජයෙන් ඉල්ලා ඇත.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා මෙන්ම වැඩිම ශතක ලාභියාද වන තෙන්ඩුල්කාර් ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේදී මුහුණ දෙන එකම අභියෝගය කෝවිඞ් - 19 වයිරසය නොවන බවද කියයි. ඔහුගේ දැක්ම අනුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවත් කිසියම් තීරණාත්මක අඩවියකට එළඹ තිබේ.

“අද කාලයේ පරම්පරාව හුරුවෙලා තියෙන්නේ වඩාත් වේගවත් ක්‍රීඩාවකට”
“අවුරුදු 15 පාසල් ක්‍රීඩකයෙක් ගත්තොත් එයා බලන්නේ අයි.පී.එල්. තරගාවලියේ විශේෂ අවස්ථා..නැත්නම් එක්දින තරගයක විශේෂ අවස්ථා. ඒවායේ තියෙන්නේ පිතිකරුවන් ඉවක් බවක් නැතිව හයේ පහර ගහන ආකාරයයි. ඒත් එක දිගට යැවෙන හොඳ පන්දු ඕවර 4 කදී ලකුණු 4 ක් පමණක් ලබාගන්නා පන්දු යැවීමක් දිහා කී දෙනෙක් බලා ඉඳීද ? නැත්නම් ඉදිරි පාදයේ හෝ පසුපාදයේ හොඳ ආරක්‍ෂාකාරී පහරක් දිහා, ක්‍රිකට් පොතේ තියෙන නිවැරදි පහරක් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන දිහා කී දෙනෙක් උනන්දුවෙන් බලයිද ? ඔවුන්ට ඕනෑ කරන්නේ වේගවත් ක්‍රියාදාම දෙස බලා සිටීමයි.”

“ක්‍රීඩාව දැන් වේගවත් ඉසව්වක් කරා යමින් සිටිනවා. ඒවායේදී පිතිකරුවා ඉතාමත් ආක්‍රමණශීලියි. ඔහු ඉවක් බවක් නැතිව පහර දෙනවා..... එක්දින තරගයක් ගත්තොත් ලකුණු 320 ක් ගැහැව්වත් පරාජයෙන් බේරෙන්න අමාරුයි... ඒ කියන්නේ ඕවරයකදී ලකුණු 6 ක විතර වේගයක් පවත්වාගෙන යන්න නම් හැම ඕවරයකදීම වාගේ පන්දුව හතරේ සීමාවෙන් එපිටට යන්න ඕනේ.” යයි තෙන්ඩුල්කාර් ‘ද ස්පෝට්ස්ටාර්’ සඟරාවට කියා තිබිණ.

එසේ වුවත් ටෙස්ට් තරග පැවැත්වෙන්නේ කිසිම ආකාරයේ සහයෝගයක් පන්දු යවන්නන්ට නොලැබෙන තණතීරු මතය. පිතිකරුවා වැරදි පහරක් තෝරාගන්නා තුරු පන්දු යවන්නාට ඉවසීමෙන් සිටීමට සිදුවන අතර ක්‍රීඩාව මන්දගාමී වී ඇතැයි ප්‍රේක්‍ෂකයන් කියන බවද තෙන්ඩුල්කාර්ගේ මතයයි. එබැවින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට කිසියම් ජීවයක් එක් කිරීමට නම් පන්දු යවන්නන්ටත් වාසියක් උකහාගත හැකි තණතීරු අවශ්‍ය බව තෙන්ඩුල්කාර්ගේ අදහසයි.

“ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වඩාත් උද්වේගකර තත්ත්වයකට ගේන්න නම් පිතිකරුවාගේ ඉවසීමත්, හැකියාවත් බුද්ධියත් කිසියම් පරීක්‍ෂණයකට ලක්කළ යුතුයි. ඒ සඳහා පන්දු යවන්නන්ට අවස්ථාව තිබිය යුතුයි” තෙන්ඩුල්කාර් කියයි.

එසේ නම් ක්‍රිකට් ක්‍රීඩාවේ මීළඟ අදියර පන්දුව පළුදු කිරීම නීතිගත කිරීමද ? 
 
 

 


අදහස් (0)

ක්‍රිකට් ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් වේවි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.